අයින්ස්ටයින් ටෙටේ හා රාහුල


 මේ ලිපිය චරිත් ගල්හේන මහතාගේ දායකත්වයෙන්

ඇල්බර්ට් අයින්ස්ටයින් තම දෙවන පුතු හැදින්වුයේ ටෙටේ යන ආදර නාමයෙන්. ටෙටේ සංගීතයට ප්‍රිය කල අතර තම පියාගේ වයලීන් වාදනයට සවන් දීමට මහත් කැමැත්තක් දැක්වූවා. එඩ්වර්ඩ් නැත්නම් ටෙටේ තම දෙමව්පියන්ගේ වෙන්වීමෙන් පස්සේ තම මවත් හා සහෝදරයා හාන්ස් එක්ක සූරිච් වලට යනවා. පලවන ලෝක යුද්ධයට ආරම්භ වීමට පෙර පමණ කාලයේ දී දිනක් අයින්ස්ටයින් තම පුතු බැලීමට පැමිණෙන බවට වූ පොරොන්දුව මත ටෙටේ තම පියා එන තෙක් ශිශිරයේ දැඩි සීතල දරා ගෙන පිල්කඩ ට වී බලා සිටිනවා. නමුත් ජර්මනියේ සිට සූරිච් බලා එන දුම්රියට යුද්ධය හේතුවෙන් සූරිච් දේශ සීමාව පසුකරන්නට අවසර ලැබෙන්නේ නෑ.
ඇල්බර්ට් තම පළමු බිරිදගෙන් වෙන්වුනත් ඔහුට දික්කසාදය ලැබෙන්නේ ඊට ගොඩක් කාලයකට පස්සේ. දික්කසාදයේ එක කොන්දේසියක් වෙන්නේ ඇල්බර්ට්ට තමන්ගේ දරැවන් දකින්නට බැහැයි කියන එක. කොහොම උනත් පළවන ලෝක යුද්දෙත් එක්ක ඇල්බර්ට්ට නාසි ජර්මනියෙන් එල්ල වෙච්ච තර්ජනත් එක්ක 1933 දි විතර ඔහුට ඇමෙරිකාවට යන්න වෙනවා. එදා පිල්කඩට වෙලා හිටිය ටෙටේ ට නැවත තමන්ගේ තාත්තාව දකින්න හම්බ වෙන්නෙ වත් ඔහුගේ වයලීන් වාදනය අහන්න හම්බ වෙන්නෙ වත් නෑ. ටෙටේ වරක් තමන්ගේ තාත්තට වෛර කරන බව ලියා යවනවා.
වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වන ටෙටේ භින්නෝන්මාදයෙන් පීඩා විදින්නට පටන් ගන්නවා. ටෙටේ එක් අවස්ථාවක දී සිය දිවි නසා ගන්නට ද උත්සාහ කරනවා. රෝගී තත්වයත් එක්ක ම ඉන් අනතරැව ටෙටේ ට වරින් වර මානසික රෝහල් ගත ව ප්‍රතිකාර ලබන්නට සිදු වෙනවා. ටෙටේ මේ රෝගී තත්වයට පත් වීමත් සමග පියා සහ පුතා අතර ලිපි මගින් සංවාදය පටන් ගැනෙනවා. 1948 දී තම මවගේ සිදු වන මරණයත් සමග ටෙටේ තම ජීවිත කාලයෙන් වැඩි පුර කාලයක් ගත කරන්නේ මානසික රෝහලේ. 1965 දී තමන්ට වයස අවුරැදු 55 දී ටෙටේ හෘදයාභාදයකින් මිය යනවා.
තමන්ගේ කුලුදුල් දරැවා උපත ලබපු දිනේදි ම සිද්ධාර්ථ තමනුත් දරැවාත් අතහැර දමා ගිය හේතුව යසෝදරාට හිතා ගන්න වත් බැරි වෙන්න ඇති. ඉන් පස්සේ ගත වෙච්ච අවුරැදු 07 ක පමණ කාලය ඇය අවමාන ගැරහුම් එක්ක ජීවත් වෙච්ච කාලයක් වෙන්න ඇති. මේ හේතුව ම තම පියාගේ සෙවනැල්ල යට අභිමානයෙන් ගත කරන්නටත් රාජකීය පෞරැෂත්වයක් එක්ක වැඩෙන්නටත් තිබ්බ රාහුලගෙ අයිතිය උදුර ගන්න ඇති.
ලෝකයේ ශ්‍රේෂඨත්වයට පත්වෙච්ච මිනිසුන්ගෙන් ලෝකයට වෙච්ච සෙත වගේම ඔවුන්ගේ පරාර්ථකාමීත්වය ගැන කිසිදු තර්කයක් හෝ ගැටලුවක් නෑ. නමුත් ඒ චරිත පිටිපස්සේ ඉන්න අහිංසක දරැවෙකුට තමන්ගෙ පියකුගෙන් ලැබිය යුතු ආදරය, රැකවරණය නැති වීම මට හැමදාම ප්‍රශ්නයක් වෙච්ච දෙයක්. ඒ මිනිස්සු ඒ තීරණයට එළඹුනේ කොහොම මොන තත්වයක් යටතේ ද සහ ඊට පස්සේ ඒ තීරණයත් එක්ක ජීවත් වුනේ කොහොම ද කියන එක මට අදටත් ප්‍රශ්නාර්ථයක්. හැබැයි වෙන්වීම පිළිබද ඒ තීරණය ගත යුතුව තිබූ බවටත් කිසි ම ගැටලුවක් නෑ.